ලේ


"කොහොමද ? "


"ලේ ගත්තා, ටිකක් රිදුනා"
මගෙන් ලේ ගත්තෙ නෑ කවුරුත්
හැබැයි මට රිදුනා,
ගොඩක්.




පාලම



එදා,
ඉඳහිට පොද වැස්සක මල් වත්ත මැදින් යද්දි,
වැරදිලා වත් අතින් නොඅල්ලපු ඔබ
පාලම උඩදි, අත බදාගෙන
මහවැලියට වැටෙතැයි බියෙන්.
අද,
ඔබ නැති සමනල පාලම.
වැටියන් ගඟට.



මතකයෙන්..

ආයි ලියනව.විදුලි බලය ඇණ හිටල.ගේ ඉස්සරහ ලයිට් කණුවට නැගල එකෙක් මොනාද හදනවා.කවියක් ලියන්න පොත අතට ගත්තම ඔලුවට එන්නෙ "ඇල්කයින හැලජනීකරණය". මොනා කරන්නද,විභාගෙ ලඟටම ඇවිල්ල. ජීවිතේ ලඟින්ම හිටපු එක එකා (එක එකී) තමන්ව දාල යද්දි,ඒ අඩුව පුරවන්න කවුරුත් නැති වෙද්දි, හිතෙනව ආයිත් අතීතයට යන්න ඇත්නම් කියල. ආගම් කියල සංකල්පයක් මේ ලෝකෙ නොතිබ්බ නම් ඔබයි මායි එකතු වෙලා හුඟක් කල්. ඒත් ඔබේ ප්‍රතිපත්ති බිඳ දමල ඔබම වැඩ කරද්දි ඔබ මාව අත ඇරිය කියන හැඟීම සාධාරණයි. අන්තිමට උනේ තවත් යාළුවෙක් (යෙහෙළියක්) නැති වෙච්ච එක විතරයි. සමාජ සම්මතය බිඳගෙන උඹල දෙන්නට ඉන්න පුලුවන් නම්,ඇයි අපිට බැරි උනේ?. අහස කලුවෙලා වහින්නද මන්ද. අරූ ලයිට් කණුවෙන් බැහැල ඉනිමග තියල ගිහිල්ල. පිස්සෙක් ද කොහෙද. 
මම බලාපොරොත්තු උන පරිපූර්ණත්වය ඔබේ නොතිබ්බට එහෙම එවුන් මේ ලෝකෙ ඉන්නව කියල මට බලාපොරොත්තු දුන්නෙ ඔබ. කොහොම හරි අන්තිමට ඔබ ගිහිල්ල. ආයි එන්න නම් එපා මම දෑත් බදල පිළිගන්නෙ නෑ ඔබව. සමහර විට කෙනක් ඇති මම වෙනුවෙන් කොහෙ හරි ඉඳල බලාගෙන.අවුරුදු 18ක් ගිහිල්ල ඒත් තාම හම්බෙලා නැති. සමහර විට ඔබයි මායි හමුවෙයි දවසක කොහෙහරි. එහෙම වෙන්න තියන ඉඩකඩ හුඟක් වැඩී.  එදාට මම ඉන්නම් ඔබව කිසිදිනක නොදැනපු විදිහට. 
මතකයන් ගුලි කරල වීසි කරන්න ඔනෙ උනත්,හිත දෙන්නෙ නෑ දිනපොතට ගිනි තියන්න. ඔබ වෙනුවෙන් මම ලියයි දිගටම. ඒත් කාලය ඇවිල්ල ඔබව අමතක කරන්න. කාලය ඇවිල්ල තනියෙන් ඉන්න, පුරුද්දටත් එක්ක. වැහිලේන්නු ඉගිලෙන තරමට වහින්නෙ නෑලු.  ලයිට් ආව.




ඔබ ඉන්නෙ බෝ දුර,
මේ කෝච්චි පාර දිගේ මමත් එන්නම්
ඔබ හොයාගෙන,
අනන්තයටම.



" කොච්චර වාහන පහුකලත් අපි පිටිපස්සෙ "



නික්ම යාම


රතු ගඩොල් බිත්ති මත වැටුණු හිරු කිරණින්,
අපේම ඉරක් හොයන් යන ගමනක,
පසු කරන්නට දුකෙන් 'බෝක්' ගේට්ටුව,
නිකමට බෑගය ඇර බැලිමි.
එක දෙයක් අමතකයි,
 හදවත.



(‍ෆ්‍රී)රැඩිකල්වාදය


මගේ මිත්‍රයෙක් ලඟදි ‍රැඩිකල් වෙලා


"මචන් මාත් හිතුවා කොන්ඩෙයි ‍රැවුලයි වවන්න."


"ඒ මොකටද? "


"ඇයි බන් එතකොටනෙ ‍රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, එතකොට පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම ‍රැවුල තියන පොරවල් නේ. ‍රැඩිකල් මිනිස්සු.කෙල්ලොත් කැමති උන්ට තමයි. "


"එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, ‍රැඩිකල් නෙමෙයිද බන්? "


"පිස්සුද බන් උන්ට කිසිම ‍රැඩිකල් ලුක් එකක් නෑ නේ. උන් හරි ගූඪ චරිත."


"හරියට විරාගයේ අරවින්ද වගේ? "


"ඒ කවුද බන්? මචන් ‍රැඩිකල් විදිහට හිතපන් එතකොට පට්ට."


"මට නිකමට කියපන් ‍රැඩිකල්වාදය කියන්නේ මොකක්ද කියලා?" 


"එහෙම කියන්න බෑ බන්. අමුතු විදිහට හිතන එකනෙ. උඹල ට්වෙන්ටි ෆස්ට් සෙන්චරියේ නෙමෙයිද ඉන්නෙ?"


"චේ ගුවේරලා, ලෙනින් ලා, කස්ත්‍රෝ ලා රටක් වෙනස් කරන්න විප්ලව කරපු මිනිස්සු. එතකොට මෙච්චර ‍රැඩිකල්වාදියො ඉඳලත් ඇයි බන් ලංකාව තාම එක තැන?"
මගේ මිත්‍රයා කරබා ගත්තා.





වෙනස්වීම


දවසේ අන්තිම හිරු රැස් කදම්භයත් වෙරලට වැටිලා. දැන් මෙහෙන් බැහැගෙන යන ඉර, කොහෙටහරි පායනව ඇති. මේ වෙරල මත තියෙන්න ඇති පියසටහන් දහස් ගණනක්. සමහරවිට ගල් යුගයටත් එහා ඉඳන්.  දෙවියො තමයි දන්නෙ. එ'ත් එක අතකට කවුද දෙවියො කියන්නෙ? 
" කැඩපත් අපි වටේ හැමතැනම තියාගත්තත් තමන්ට සම්පූර්ණයෙන් තමන්ව දකින්න බෑ, දෙවියො කියන්නෙ අන්න එ' නොපෙනීමටයි. " කොහෙන්දෝ ආපු සිතුවිල්ලක් එහෙම කිව්වා.


මේ වෙරල මතම තියෙනවා අලුත් පරපුරකත් පරණ පරපුරකත් පියසටහන්. පරණ පරපුරෙන් ඇහුවොත් කියයි සමාජය පිරිහිලා අපේ කාලෙ වගේ නෙමෙයි කියලා.  ලෝකයේ හැමදෙයක්ම චක්‍රාකාරයි. ගතානුගතිකත්වය යනු සදාචාරය කියල වරද්ද ගත්ත කෙනෙක්ට මේක නොතේරෙනව ඇති. පොඩි එවුන් වෙරලෙ තැන තැන හදපු වැලි මාලිගා වඩ දියත් එක්ක නැතිවෙලා යාවි, සමහරුන්ගෙ හීන වගේ.


වෙරලෙ ඇවිදිද්දි ඔබ මුතු බෙල්ලෙක් දැකලා කනේ තියා ගත්තොත් ඇහෙන සද්දෙ මුහුදෙ සද්දෙම නෙමෙයි. කාර්යබහුලත්වයෙන් මිදිලා රෑ තරු අහස දිහා බලන් හිටියොත් ඔබට පෙනෙයි ලෝකය කොච්චර සුන්දරද කියලා. එ'ත් ඔබ අහස දිහා බලද්දි ඔබට පේන්නෙ ස්වභාවික කෘත්‍රිම චන්ද්‍රිකාවක් (හඳ)  සහ ප්‍රොක්සිමා සෙන්චූරි නම් ඕව කොහොම විඳින්න ද?
ලෝකෙ තිබ්බ හැම දෙම අලුත් වෙලා. ඉස්සර එලවලු විතරක් කාපු අය අද බිත්තර කනව ඇති. ඉස්සර නොබොවු අය දැන් බොනවා ඇති. ඉස්සර පන්සල් නොගියපු අය අද පන්සල් යනවා ඇති. ඉතින් මේ පිරිහීම ද?  නැහැ 
   වෙනස්වීම.



අක්ෂරය, දෘශ්ඨි කෝණය, ශිෂ්‍යාව සහ ඇහේ බබා

                            මේකෙ ලියන්න හදන්නෙ අක්ෂරයට ආවඩල වත්,නිදි යහන ගිනි ගනීට ගරහලවත් නෙමෙයි. කියවල හිතෙන එකක් හිතා ගන්න.
ලාංකීය සිනමාවේ වර්තමානය ගැන කතා කරද්දි කතා කරන්න දෙයක් නැති තරම්. වානිජ  චිත්‍රපට 100කට ඕනෙනම් සම්භාව්‍ය එකක් තියෙයි. ඒ තියෙන සම්භාව්‍ය එක ‍රැඟුම් පාලක කමි‍ටුව කපල කොටල ගත්තට පස්සෙ ගන්න හරයක් නැති තරම්. අක්ෂරයේ කතාව කොතරම් සංවාදවලට බඳුන් වුවද එවැනි කතන්දර නැතැයි කියා බැහැර කරන්න බෑ.
    කෙසේ වුවත් සුළං කිරිල්ලී වැනි චිත්‍රපටයක් බලන්නෙක් ට අයෙක් යතුරු හිලකින් සංවාසයේ යෙදෙන්නවුන් දෙස බලා ගන්න හැඟීමම ගන්නත් බැරි නෑ.සියල්ල තීරණය වන්නේ බලන්නාගේ දෘශ්ඨි කෝණය මත.චිත්‍රපටයේ භාව්‍යාත්මක අර්ථය තේරුම් ගැනීමට නම් එයට සරිලන චින්තනයකින් සිටිය යුතු වෙනව.අපිට පෙනෙන්නෙ අපි දකින්න බලාපොරොත්තු වෙන දෙය.මේ කුමන විකාරයක් දැයි ඔබට හැ‍ඟෙනවා නම් තේරුම් යනු පිණිස පහත කතාව ලියන්නම්.


ගුරුවරයෙක් පන්ති කාමරයක ඉගැන්වීමේ යෙදනව. විෂය සෞඛ්‍ය කියල හිතමු. ගුරුවරයා පන්තියෙන් ප්‍රශ්නයක් අහනවා.


"Excitement එකකදී හතර ගුණයකින් පමණ විශාල වෙන අවයවය මොකක්ද ?"


පන්තිය නොසන්සුන් වෙනව.ශිෂ්‍යාවක් නැගිටල ගුරුවරයට බැණ වදිනවා.


"ඔබ මහ විකෘතිකයෙක්.ඔය වගේ ප්‍රශ්නයක් අහල ඔබට ඕනේ අපිව අපහසුතාවයට ලක් කරන්න.ශිෂ්‍යාවෝ ඉන්න තැනක ඔහොම එකක් අහන්න කලින් හිතන්න ඕනෙ නේද ? "


ගුරුවරයා හිනා වෙනවා.ශිෂ්‍යාවට හිඳගන්න කියනවා.


"තව උත්තර තියනව ද ? "
ගුරුවරයා පන්තියෙන් විමසනවා.


ශිෂ්‍යයෙක් නැගිටිනව. අහිංසක විදිහට පිළිතුරක් දෙනවා.


" ඇහේ බබා. "









පින්න මල


අතට ආපු පින්න මල, ගහගෙන ගිය එකයි දුක
ඒත්..
සුළඟ නැත්නම් තාත් මගෙ ලඟ,
සමහරවිට,
සුළඟ නැත්නම් තාම ගහේ වෙන්නත් තිබ්බා.
මොනා කරන්නද, පින්න මලක් නෙ.