(‍ෆ්‍රී)රැඩිකල්වාදය


මගේ මිත්‍රයෙක් ලඟදි ‍රැඩිකල් වෙලා


"මචන් මාත් හිතුවා කොන්ඩෙයි ‍රැවුලයි වවන්න."


"ඒ මොකටද? "


"ඇයි බන් එතකොටනෙ ‍රැඩිකල් ලුක් එක එන්නෙ. දැන් බලපන් චේ ගුවේරා, එතකොට පිදෙල් කස්ත්‍රෝ ඊට පස්සේ ලෙනින්. ඔක්කොම ‍රැවුල තියන පොරවල් නේ. ‍රැඩිකල් මිනිස්සු.කෙල්ලොත් කැමති උන්ට තමයි. "


"එතකොට වික්‍රමසිංහලා, ආරියරත්නලා, ‍රැඩිකල් නෙමෙයිද බන්? "


"පිස්සුද බන් උන්ට කිසිම ‍රැඩිකල් ලුක් එකක් නෑ නේ. උන් හරි ගූඪ චරිත."


"හරියට විරාගයේ අරවින්ද වගේ? "


"ඒ කවුද බන්? මචන් ‍රැඩිකල් විදිහට හිතපන් එතකොට පට්ට."


"මට නිකමට කියපන් ‍රැඩිකල්වාදය කියන්නේ මොකක්ද කියලා?" 


"එහෙම කියන්න බෑ බන්. අමුතු විදිහට හිතන එකනෙ. උඹල ට්වෙන්ටි ෆස්ට් සෙන්චරියේ නෙමෙයිද ඉන්නෙ?"


"චේ ගුවේරලා, ලෙනින් ලා, කස්ත්‍රෝ ලා රටක් වෙනස් කරන්න විප්ලව කරපු මිනිස්සු. එතකොට මෙච්චර ‍රැඩිකල්වාදියො ඉඳලත් ඇයි බන් ලංකාව තාම එක තැන?"
මගේ මිත්‍රයා කරබා ගත්තා.





වෙනස්වීම


දවසේ අන්තිම හිරු රැස් කදම්භයත් වෙරලට වැටිලා. දැන් මෙහෙන් බැහැගෙන යන ඉර, කොහෙටහරි පායනව ඇති. මේ වෙරල මත තියෙන්න ඇති පියසටහන් දහස් ගණනක්. සමහරවිට ගල් යුගයටත් එහා ඉඳන්.  දෙවියො තමයි දන්නෙ. එ'ත් එක අතකට කවුද දෙවියො කියන්නෙ? 
" කැඩපත් අපි වටේ හැමතැනම තියාගත්තත් තමන්ට සම්පූර්ණයෙන් තමන්ව දකින්න බෑ, දෙවියො කියන්නෙ අන්න එ' නොපෙනීමටයි. " කොහෙන්දෝ ආපු සිතුවිල්ලක් එහෙම කිව්වා.


මේ වෙරල මතම තියෙනවා අලුත් පරපුරකත් පරණ පරපුරකත් පියසටහන්. පරණ පරපුරෙන් ඇහුවොත් කියයි සමාජය පිරිහිලා අපේ කාලෙ වගේ නෙමෙයි කියලා.  ලෝකයේ හැමදෙයක්ම චක්‍රාකාරයි. ගතානුගතිකත්වය යනු සදාචාරය කියල වරද්ද ගත්ත කෙනෙක්ට මේක නොතේරෙනව ඇති. පොඩි එවුන් වෙරලෙ තැන තැන හදපු වැලි මාලිගා වඩ දියත් එක්ක නැතිවෙලා යාවි, සමහරුන්ගෙ හීන වගේ.


වෙරලෙ ඇවිදිද්දි ඔබ මුතු බෙල්ලෙක් දැකලා කනේ තියා ගත්තොත් ඇහෙන සද්දෙ මුහුදෙ සද්දෙම නෙමෙයි. කාර්යබහුලත්වයෙන් මිදිලා රෑ තරු අහස දිහා බලන් හිටියොත් ඔබට පෙනෙයි ලෝකය කොච්චර සුන්දරද කියලා. එ'ත් ඔබ අහස දිහා බලද්දි ඔබට පේන්නෙ ස්වභාවික කෘත්‍රිම චන්ද්‍රිකාවක් (හඳ)  සහ ප්‍රොක්සිමා සෙන්චූරි නම් ඕව කොහොම විඳින්න ද?
ලෝකෙ තිබ්බ හැම දෙම අලුත් වෙලා. ඉස්සර එලවලු විතරක් කාපු අය අද බිත්තර කනව ඇති. ඉස්සර නොබොවු අය දැන් බොනවා ඇති. ඉස්සර පන්සල් නොගියපු අය අද පන්සල් යනවා ඇති. ඉතින් මේ පිරිහීම ද?  නැහැ 
   වෙනස්වීම.